සෑම විශ්වවිද්‍යාලයකටම නොමිලේ වයි ෆයි- EPF සහ ETF එකම අරමුදලක්

සෑම විශ්වවිද්‍යාලයකටම නොමිලේ වයි ෆයි- EPF සහ ETF එකම අරමුදලක්

November 5, 2015   03:19 pm



සෑම විශ්වවිද්‍යාලයකටම නොමිලේ වයි ෆයි පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාගැනීම සඳහා තුන් අවුරුදු පොලී රහිත ණය  සහනාධාර මුදලක් ලබාදෙන බවත්, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වසර 10 ට වඩා වැඩිකාලයක් බලපත්‍රලාභී ඉඩම්වල ජීවත්වන ජනතාවට සින්නක්කර ඉඩම් ලබාදෙන බවත්, රජයේ කුලී නිවාසවල වසර 10ට වඩා වැඩි කාලයක් වෙසෙන අයට එහි නිවාසවල අයිතිය සින්නකරම ලබාදෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

වතුකරයේ ලැයින් කාමරවල වසර 10 ක් තිස්සේ ජීවත්වන වතුකම්කරු ජනතාවට කුඩා ඉඩමක හා නිවසක අයිතිය ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අදාළ නීති රීති ළඟදීම පාර්ලිමේන්තුවට හඳුන්වාදෙන බවත් ඔහු සඳහන් කළේය.

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත කිරීම සඳහා පියවර ගන්නා බවද, එම අරමුදල් දෙක එකට එක්කොට 'ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල'නමින් නව අරමුදලක් පිහිටුවන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ඒ අනුව ට්‍රිලියන 1.7ක වත්කම් මෙම යටතට පත්වන බව හෙතෙම කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ විශේෂ ප්‍රකාශය සිදුකරමිනි.

පසුගිය රජයේ සිදුකළ අයුරින් අරමුදලේ මුදල් එක් එක් දේශපාලනඥයින්ට හෝ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නාස්ති කිරීමට ඉඩ නොදෙන බවත්, එහි පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරනුයේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව බවත් ඔහු සිහිපත් කළේය.

එසේම මෙම අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරෙන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ ඒකපුද්ගල ආදායම ගැන කුමන පුරසාරම් දෙඩුවද සැබෑ සංඛ්‍යා ලේඛන වහා තැතිගන්වන සුළු බවත්, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 43% ක පිරිසකගේ දිනක ආදායම අ.ඩො 2ට අඩු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

යුද්ධය අවසන්වී වසර 5ට පසුවත් උතුරු පළාතේ නිෂ්පාදන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක් පමණක් බවත්, පසුගිය රජයේ යුද්ධයෙන් පසු යළි ගොඩනැඟීමේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ප්‍රචාරක ඝෝෂාවක් මිස සත්‍යයක් නොවන බව මෙයින් පැහැදිලිවන බවද ඔහු කියා සිටියේය.

මේ අනුව ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ආරම්භ කරන බවත්, වසර 5ක කාලය තුළ ග්‍රාමිම, අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශයන්හි නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීම සඳහා නිවාස 500,000 ක් සාදන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් දැඩි විනයක් පවත්වාගෙන යන බවත්, නිශ්චිත වටිනාකමකට රජයේ සියලුම මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කටයුතු වෙනුවෙන් 'මධ්‍යම ප්‍රසම්පාදන ලේකම් කාර්යාලයක්' ස්ථාපිත කරන බවත් ඔහු කියා සිටියේය.

වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරන බවත්, පාසල් පනත මගින් පංති කාමරයක ළමුන් සංඛ්‍යාව 35 ක උපරිමයකට යටත් කරන බවත්, ඉගැන්වීමේ උපකරණ හා සිසුන්ගේ දුරස්ථභාවය දුරුකරමින් ඩිජිටල්කරණය පාසල්වලට හඳුන්වාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.