ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

November 2, 2015   06:47 am



බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැති එම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්  පන්දුවාර 26කට සීමා කෙරුණි.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 26 දී  කඩුලු 08 ක් දැවි ලකුණු 159 ක් රැස්කර ගත් අතර එහිදී ඇන්ඩෘ රසල් ලකුණු  41ක් සහ නායක ජේසන් හෝල්ඩර් පන්දු 13 කදී ලකුණු 36 ක් ලබා ගැනිමට සමත්විය.

පන්දු යැවිමේදී සුරංග ලක්මාල් ලකුණු 15කට කඩුලු 03 ක් දවා ගත් අතර ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 163 ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ශාන් පන්දු 32 කදී හයේ පහර 03 ක් සහ හතරේ පහර 06 ක් සමගින් ලකුණු 59 ක් ලබා ගන්නා ලදී.

පළමු පන්දුවාර 12 දී ලකුණු සියයේ සීමාව පසු කිරිමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුවද ලකුණු 152 ක වන විට කඩුලු 09 ක් බිඳ වැටී තිබුණි.

කෙසේ වුවද දක්ෂ පිතිහරඹයක නිරත වුණු අජන්ත මෙන්ඩිස් නොදැවී ලකුණු 21 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය අත්කර දුන් අතර තරගයේ විරයා ලෙස  ටී.එම් ඩිල්ශාන් නම්කෙරුණි.


දෙරට අතර මීළඟ තරඟය ලබන 04 වනදා කොළඹ ආර් . ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් විමට නියමිතය.