භාෂා ලංකා සමාගමට සම්මාන ත්‍රිත්වයක්!
October 16, 2015 10:21 am
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාතික සම්මාන උළෙල වන NBQSA (National Best Quality ICT Awards) සම්මාන උළෙල පසුගිය 9 වන දා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක‍්ෂණික සමාගමක් වන වන භාෂා ලංකා සමාගම එහිදී සම්මාන ත්‍රිත්වයක් හිමි කරගත් අතර එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක, ධනික පෙරේරා මහතා එහිදී වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයාට
හිමි ජාතික සම්මානය (The Most Innovative ICT Entrepreneur of the Year)
හිමිකර ගැනීමට සමත් විය.
මොරටුව සරසවියේ පරිගණක විද්‍යා ඉංජිනේරු උපාධිදාරියෙකු වන ධනික පෙරේරා මහතා විසින් 2011 වසරේ දී භාෂා ලංකා සමාගම ඇරඹා ඇත්තේ ඔහු සරසවියේ තෙවෙනි වසරේ උපාධි අපේක්‍ෂකයෙක්ව සිටි අවදියේය. සරසවි අධ්‍යාපන කාල වකවානුවේ සිටම තම පුද්ගලික දැක්ම ලෙස තම උපන් රටේ ජනතාවගේ අහිවෘද්ධිය උදෙසා කටයුතු කිරිමේ අභිලාශය සිතෙහි ගොඩනගාගෙන තිබූ ඔහු, එම ආදර්ශමත් දැක්ම අද වන විට භාෂා ලංකා සමාගමේ දැක්ම ("Empowering The Masses") බවට පත් කරගෙන සාර්ථකව එය ක්‍රියාවෙහි යොදවමින් සිටියි. ශ්‍රී ලාංකේය ජනතාව වෙත තොරතුරු තාක්‍ෂණය ගෙනයමින් ඔහු සිදුකරන මෙහෙවර අගය කිරීම සඳහා ඔහුට පිරිනැමුනු මෙම සම්මානයට පෙරද ඔහු, වසරේ හොඳම නැගීඑන තොරතුරු තාක්ෂණ නායකයාට හිමි සම්මානය සහ නැගීඑන ව්‍යවසායකයාට හිමි සම්මානයද 2014 වසරේදී හිමි කරගෙන ඇත.
මෙවර NBQSA සම්මාන උළෙලේදී ධනික පෙරේරා මහතා ලද මෙම සම්මානයට අමතරව ඔහු විසින් ආරම්භ කළ භාෂා ලංකා සමාගමට ද තවත් සම්මාන දෙකක් හිමි වූ අතර එම සමාගමේ නිපැයුම් ද්විත්වයක් වන Puvath Reader සහ MobiTV නම් වූ ජංගම දුරකථන ඇප්ලිකේෂනයන් මෙලෙස සම්මානයට පාත්‍ර විය.
MobiTV ජංගම දුරකථන ඇප්ලිකේෂනය මේ වන විට වැඩිම බාගතකිරීම් සංඛ්‍යාවක් ඇති ශ්‍රී ලාංකේය ඇප්ලිකේශනය බවට පත් වී ඇති අතර එමගින් ලංකාවේ සියලුම රූපවාහිනී නාලිකාවන් ජංගම දුරකතනයෙන් සජීවිව සහ පසුව නැරඹීමේ පහසුකම පරිශීලකයන් වෙත ලබා දෙයි. Puvath Reader ජංගම දුරකථන ඇප්ලිකේෂනය ද ශ්‍රී ලාංකීය ජංගම දුරකථන පරිශීලකයින් අතර ජනප්‍රිය ඇප්ලිකේශනයක් වන අතර එමගින් දේශීය සහ විදේශීය පුවත් අති නවීණ Push Notification තාක්ෂණය ඔස්සේ එසැණින් සිංහලෙන්ම ලබාගැනීමේ හැකියාව පරිශීලකයින් වෙත ලබා දෙයි. භාෂා ලංකා සමාගම විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෙම සම්මානනීය තාක්ෂණික විසඳුම් ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් සහ වින්ඩෝස් ෆෝන් දුරකථන සඳහා ඕනෑම අයෙකුට ලබා ගත හැක.
මීට වසර හතරකට පෙර ආරම්භ කරන ලද භාෂා ලංකා සමාගම වර්තමානය වන විට ශ්‍රී ලාංකේය ජනතාවගේ අවශ්‍යතාවයන් මැනවින් හඳුනාගෙන තිබීම සහ ඊට සරිලන අයුරින් ස්වකීය මෘදුකාංග නිර්මාණයන් නිපදවා ඒවා නොමිලේ පරිශීලකයන් හට භාවිත කිරීමට ඉඩ ලබා දිම බෙහෙවින් ප්‍රශංසනීයය. තම නිර්මාණයන් සඳහා නවතම තාක්ෂණය යොදාගැනීම සහ ඒවායේ ගුණාත්මක භාවය මනාව පවත්වාගැනීම නිසාවෙන් ආරම්භයේ සිට වර්තමානය වනතෙක් භාෂා ලංකා සමාගමෙන් බිහිවූ සෑම නිර්මාණයක්ම පාහේ දේශීයව සහ විදේශීයව සම්මානයට පාත්‍ර වී ඇත. m-Billionth දකුණු ආසියානු සම්මාන 2 ක්, ඊ-ස්වාභිමානී ජාතික සම්මාන 4 ක් සහ NBQSA ජාතික සම්මාන 6 ක් මෙසේ ඔවුන් පසුගිය වසර හතර ඇතුළත තම නිපැයුම් සඳහා හිමි කරගෙන ඇත.