කොටදෙණියාව පොලීසිය ගැන පොලිස්පති අතුරු වාර්තාවක් ඉල්ලයි

කොටදෙණියාව පොලීසිය ගැන පොලිස්පති අතුරු වාර්තාවක් ඉල්ලයි

October 4, 2015   01:09 pm



සේයා සදෙව්මි දැරිය ඝාතනය පිළිබඳ පරීක්ෂණවලදී කොටදෙණියාව පොලීසියේ ක්‍රියාකලාපය පිළිබඳ සිදුකරන විමර්ශනයේ අතුරු වාර්තාවක් ලබන 07 වැනිදා ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා විසින් සිදුකරන ලද පැමිණිල්ලට අනුව පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් සිදුවෙයි.

බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජි.කුලරත්න මහතා විසින් අදාළ විමර්ශනය සිදුකරන බව සඳහන්ය.

කොටදෙණියාව පොලීසියට දැරියගේ ඝාතනයට බාල වයස්කාර පාසල් දරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබුණේ ද යන්න පිළිබඳව විමර්ශනයේ දී අවධානය යොමුකිරීමට නියමිතය.

ඊට අමතරව සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු අදාළ පාසල් සිසුවාට සහ අනෙක් සැකකරුට කොටදෙණියාව පොලීසිය විසින් පහරදීම් සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමුවනු ඇත.