ජාතික ආණ්ඩුව හොඳයි - ඇමතිධූර වැඩි කරනවාට විරුද්ධයි

ජාතික ආණ්ඩුව හොඳයි - ඇමතිධූර වැඩි කරනවාට විරුද්ධයි

September 3, 2015   02:02 pm



ජාතික සමගිය නමින් ගෙන එනු ලබන නීති විරෝධී යෝජනාවලට සහය නොදෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳ යෝජනාවට අදාළ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

සියලු පක්ෂවලට සහයදෙමින් කාර්යක්ෂම විපක්ෂයක් ලෙස කැපවීමෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

රජයේ යහපත් කටයුතුවලට සහය දෙන අතරම විරුද්ධ විය හැකි කාරණාවලදී විරුද්ධ වීමටද එක්සත්ව විපක්ෂයේ මන්ත්‍රීන් ලෙස කටයුතු කිරීමට නොපැකිළෙන බවද ඔහු කියා සිටියේය.

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳාගත යුතු කාරණා ඇති බවත්, දෙමළ ජනතාවට එය දීර්ඝ කාලයක සිට බලපැවැත්වෙන්නක් බවත්, මේ නිසා එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බවත්, ඒ මහතා පැවසුවේය.

රටට සහ ජනතාවට පක්ෂපාති වෙන අතරම  දෙමළ ජනතාවගේ ගැටලුවට පිළිගත හැකි විසඳුමක් ලබාදිය යුතු බව මෙහිදී  අවධාරණය කිරීමට කැමති බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ආණ්ඩු සංකල්පය මෙරටට අලුත් බවත්, එසේ වුවද එය ජාතියේ අවශ්‍යතාවයක් බවත්, මේ නිසා ප්‍රධාන පක්ෂ දෙක එක්වී එවැන්නක් පිහිටුවා ගැනීම සුදුසු බවත්, හෙතෙම පැවසීය.

එහෙත් මේ යටතේ ඇමතිධූර සංඛ්‍යාව වැඩි කිරීම යහපාලනයකට නොගැලපෙන බවත්, මේ  නිසා දෙපාර්ශවය කතිකා කරගෙන තීරණයකට පැමිණීම වඩාත් සුදුසු බවත්, සම්බන්ධන්  මහතා කියා සිටියේය.

අවාසනාවකට මෙම සංස්කෘතිය පාර්ලිමේන්තුවේ දැකීමට ඇති බවත්, එය නැති කළ යුතු බවත්, පැවසූ ඒ මහතා සංඛ්‍යාව වැඩි කර ගැනීමට විවිධ ක්‍රම මගින්  මන්ත්‍රීන් ගැනීම නතර කළ යුතු බවත්, පෙන්වාදුන්නේය.

අපට වඩා බිලියන 1.2ක ජනගහණයක් සිටින අසල් වැසි ඉන්දියාවේ කැබිනට් මණ්ඩලය ද ඉතා කුඩා බවත්, මේ නිසා අපේ රටද ආදර්ශ ගත යුතු බවත්, විපක්ෂ නායක සම්බන්ධන්  මහතා කියා සිටියේය.
 
කෙසේ වුවද පවත්නා වාතාවරණය  යටතේ සියලුදෙනාටම ඇමතිවරුන් වීමට අවශ්‍ය වී ඇති බවත්, අමාත්‍යධූර වැඩිකරනවාට වඩා පළාත් ඇමතිවරුන්ට බලතල වැඩි කිරීම වඩා සුදුසු යැයි තමාට වැටහුණු බවත්, හෙතෙම කීවේය.