ජාතික ආණ්ඩුවකින් යහපතක් මිස අයහපතක් නෑ

ජාතික ආණ්ඩුවකින් යහපතක් මිස අයහපතක් නෑ

September 3, 2015   12:30 pm


ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයාටත්, රටටත් යහපතක් මිස අයහපතක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පසුගිය මැතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවුණේ කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බහුතර බලයක් හිමිනොවීම නිසා බව හෙතෙම කියා සිටියේ අද(03) ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

එම සංහිඳියාව ඉදිරියටත් පවත්වා ගනිමින් පාක්ෂිකයා රැකගනිම්න් රටේ උන්නතිය සඳහා කටයුතු කිරීමට ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද සහිතව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ජාතික ආණ්ඩුවේ පළමු කාර්ය විය යුතු බව ද සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.

එසේම තමන් කැමති වුවද අකමැති වුවද වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවත්, එම නිසාම ජනතාව දුන්නු වගකීම ඉටුකිරීමට නම් සංහිඳියාවකින් යුතු ජාතික ආණ්ඩුවකට යායුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.