පොසොන් සමයේ අනුරපුරදී ගැටලුවක් නම් 1977ට කතා කරන්න

පොසොන් සමයේ අනුරපුරදී ගැටලුවක් නම් 1977ට කතා කරන්න

May 27, 2015   02:26 pm



පොසොන් උත්සවයට සමගාමීව ප්‍රදේශයේ විශේෂ පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතාගේ ඉල්ලීමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා සඳහන් කළේය.

 ඒ අනුව අනුරාධපුර සහ මිහින්තලය ඇතුළු ප්‍රදේශවල තාවකාලිකව ඉදිකෙරෙන වෙළෙඳසැල්වල භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය එහිදී පරික්ෂා කිරීමට නියමිත බව සඳහන්ය.

එමෙන්ම පාරිභෝගික නීති රීති පිළිබඳ වෙළෙඳසැල් දැනුවත් කිරීමට ද මෙහිදී  කටයුතු කරන බව රූමි මර්ෂුක් මහතා කියා සිටියේය.

එමෙන්ම පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවට මතුවන ඕනෑම පාරිභෝගික ගැටලුවක් 1977 යන ක්ෂණික දුරකථන අංකයට දැනුම්දිය හැකි බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.