තොරතුරු තාක්ෂණය සමාජ, ආර්ථික සංවර්ධන මෙවලමක් ලෙස උපයෝගීකරගත යුතුයි

තොරතුරු තාක්ෂණය සමාජ, ආර්ථික සංවර්ධන මෙවලමක් ලෙස උපයෝගීකරගත යුතුයි

April 18, 2015   05:11 pm



අන්තර්ජාල අපරාධ නැවැත්විම සඳහා අන්තර්ජාල නිදහස ආරක්ෂා කරමින් ඇතැම් ප්‍රතිපත්ති හා ආයතනික ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවා ඇති බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.


නෙදර්ලන්තයේ පැවැත්වෙන සයිබර් අවකාශය පිළිබඳ ගෝලිය සමුළුවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තොරතුරු තාක්ෂණය සමාජ, ආර්ථික සංවර්ධන මෙවලමක් ලෙස උපයෝගී කර ගත හැකි බවට ශ්‍රී ලංකාව විශ්වාසය පළකරන බවයි.

ශ්‍රී ලංකාව මේ වනවිට නොමිලේ වයි ෆයි ලබාදීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර තිබේ.

මේ අතර විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අදාළ සමුළුව අතරවාරයේදී නෙදර්ලන්ත සෙනට් මණ්ඩලයේ සියළු පක්ෂ වල නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.

මෙහිදි අමාත්‍යවරයා විසින් සංහිදියාව සහ ප්‍රතිසන්ධානය පිළිබඳව අදාළ නියෝජිතයින් දැනුවත් කර ඇති අතර මේ සඳහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කර තිබේ.