19 ගැන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

19 ගැන නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

April 17, 2015   03:19 pm


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ හා වෙනත් භේදයන් පසෙකලා ක්‍රියා කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරයි.


ඒ අනුව ඊට සහය දීමෙන් දේශයේ උපරිම යහපත වෙනුවෙන් ක්‍රියාකරන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ශ්‍රි ලංකාව තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට සහ ආරක්ෂා කිරීමට තමන් අඛණ්ඩව කැපවී ඇති බවත්,එහිදී තම ස්ථාවරය වූයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු පිණිස කැපවුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අධිකරණයේ ස්වාධීනත්වය,පොලීසිය ඇතුළු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය,යහපාලනය පැවතිය යුතුවා සේම දූෂණය පිටුදැකීම අත්‍යවශ්‍ය බව යයි නීතිඥ සංගමය පෙන්වාදෙයි.


ඒ අනුව යෝජිත 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය එකී පුරුෂාර්ථ සාක්ෂාත් කරගැනීමට වැදගත් පියවරක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නැවත පිහිටුවීම,ජාතික පොලිස් කොමිෂන් සභාව,මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම,තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගැනීම,ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමේදී විනිවිද පෙනෙන පිළිගත් ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීම,18 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අහෝසි කිරීම ආදිය එකී වැදගත් ක්‍රියාමාර්ග බැව් එකී නිවේදනය තුළින් නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වාදෙයි.