මේ ආණ්ඩුවෙත් ඩීල්කාරයින් ඉන්නවා - ඡන්දෙකට යන්න හදිසියක් නෑ

මේ ආණ්ඩුවෙත් ඩීල්කාරයින් ඉන්නවා - ඡන්දෙකට යන්න හදිසියක් නෑ

February 26, 2015   05:40 pm


මේ ආණ්ඩුවේ ඩීල් කාරයින් සිටින බවට නැඟෙන චෝදනා තමාද පිළිගන්නා බවත්,ඒ වෙනුවෙන් ජාතික විධායක සභාවේදී ප්‍රශ්න කළ බවත් රජයේ කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

තමා පමණක් නොව ඇමති චම්පික රණවක, මන්ත්‍රී අනුරකුමාරද ප්‍රශ්න කරන බව හෙතෙම කියා සිටියේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව රජයේ ජනාධිපති නීතිඥයාට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන ලෙස පැවසූවද ඔහු කුමන උපදෙසක් ලබාදුන්නේද යන්න නොදන්නා බවත්, ඔහුම අනෙක් පසින් සැකකරුට ඇප ඉල්ලා ඇප ලබාගත් බවත්,නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබුවේ ඇප ඉල්ලීමේදී විරුද්ධ
නොවන ලෙසද යන්න සැක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අපරාධවලට අදාළ තෝර මෝරු අල්ලන්නේ නැතිව සුළු සුළු වැරදි කළවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමාටද ප්‍රශ්න තිබෙන බවත්,ශෂි වීරවංශ-සුධර්මන් වැනි අය නොව ඊට ඉහළ ලොකු ලොක්කන් අත්අඩංගුවට ගත යුතු බව තමන්ද විශ්වාස කරන බව සේනාරත්න මහතා කියා සිටියේය.

මහ අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී සුළු සුළු වැරදි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් සිදුකරනු ලබන්නේ රජය කෙරෙහි ජනතාව කළකිරවීමට බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙලේ සුදා ලබාදුන්නු කටඋත්තරවලට අනුව හිටපු නි.පොලිස්පතිවරයෙකු ගැන කියැවුණු බවත්,මන්ත්‍රීවරයෙකු ගැන කියැවුණු බවත් එවැන්නන් අත්අඩංගුවට ගැනීමට තාමත් කටයුතු කර නොතිබීම පිළිබඳ තමන් පවා කනගාටුවට පත්වන බවත් ඔහු අවධාරණය කළේය.

එහෙත් මෙවැනි ඩීල් කාරයින්ට අපරාධකරුවන්ට දිගටම නිදැල්ලේ සිටින්නට ඉඩ නොදෙන බවත්,තමාද මෙම ආණ්ඩුවේ සිටින බවත්,ඡන්දයකට යායුත්තේ දුන් පොරොන්දු ඉටුකොට නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බවත් අමාත්‍ය්‍යවරයා පෙන්වා දුන්නේය.

ඇතැම් අයට ඡන්දයකට යාමට හදිසියක් පැවතුණද සැබවින්ම එවැනි හදිසියක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.