බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා  රජය කෙරෙහි විශ්වාසය තබයි

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තබයි

January 31, 2015   09:44 am

යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් ඇති බව තම තෙදින සංචාරය තුළ පැවති සාකච්ඡා මගින් පෙනී ගිය බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා පවසයි.

සිය නිල සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර තම සංචාරය පිළිබඳව විදේශ මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් මෙම සංචාරය තුළදී නව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම උතුරු පළාත් මහා ඇමතිවරයා ද හමු විය.

එසේම අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරය කරන දෙවන අවස්ථාව මෙය වන අතර නව රජය බලයට පැමිණීමෙන් අනතුරුව මෙරටට බටහිර රටකින් පැමිණි ප්‍රථම රාජ්‍යතාන්ත්‍රිකයා ද ඔහු වෙයි.

තමන් පසුගිය වර ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවට වඩා මෙවර ශ්‍රී ලංකාවේ වාතාවරණය වෙනස් වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ලෝකය හමුවේ ශ්‍රී ලංකාව පුනරුත්තාපනය කිරීමේ අවශ්‍යතාවක් නව රජයට ඇති බවද පැවසුවේය.

එසේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කරන වාර්තාව මේ වන විට සකස් කර අවසන් වීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ මඩුල්ලට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා නොදීම කණගාටුදායක බව ඔහු පෙන්වා දෙයි.

තවද සියලු ජාතින් එක්ව ජීවත් විය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍ය නම් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ විවිධ සිදුවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව බ්‍රිතාන්‍යයේ ස්ථාවරය වන අතර නව රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.