ශිරාණි ඉවත් කළ හැටි මුල සිටම වැරදී බව අගමැති කියයි - පාර්ලිමේන්තුව උණුසුම්

ශිරාණි ඉවත් කළ හැටි මුල සිටම වැරදී බව අගමැති කියයි - පාර්ලිමේන්තුව උණුසුම්

January 30, 2015   02:36 pm

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරින් ඉවත් කිරීමට අදාළව යොදාගත් ක්‍රමවේදය වැරදී බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරු ධූරයේ පිහිටුවීමත් මොහාන් පීරිස් මහතා සම්බන්ධයෙන් නව රජය අනුගමනය කළ ක්‍රියාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් හා පැහැදිලි කිරීමක් අවශ්‍ය බැව් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ඊයේ ඉල්ලීමක් කළේය.

එහිදී අගමැතිවරයා කියා සිටියේ මේ ගැන තමන් අද (30) ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනූව අගමැතිවරයා අද ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

මොහාන් පීරිස් මහතා පසුගිය ජනපතිවරණය දිනයේදී අරලියගහ මන්දිරයේ සිටි බවත්, අගවිනිසුරු වැනි රටේ වැදගත් නිලයක් දරන කෙනෙකු එවැනි ස්ථානයක සිටීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, පැවසූ අගමැතිවරයා රජයට ඕනෑ විදියට නඩු තීන්දු දීමට තමා සූදානම් යැයි හෙතෙම පැවසු බවද ඒ මහතා සභාවේ අවධානයට යොමු කළේය.

එවැනි අගවිනිසුරුවරයකුට ස්වාධීනත්වයෙන් කටයුතු කළ නොහැකි බවද, එසේම මොහාන් පීරිස් මහතා සමාගම් කිහිපයකම තනතුරු දරන්නෙක් බවද, ඔහු විදෙස් රටක තානාපති තනතුරක් ඉල්ලා ඇති බවද, අගමැතිවරයා පෙන්වාදුන්නේය.

මෙම ප්‍රකාශයන් අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියදී විපක්ෂයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කෑ කෝ ගසමින් ඊට විරෝධය පළ කිරීමත් සමග දෙපාර්ශවයේම පිරිස් උණුසුම් වචන හුවමාරුවක් ඇරඹිණ.

මේ සමග ඇති වූ තත්ත්වය සලකා බලා කතානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 20ට කල්දැමූ අතර මේවන විට පක්ෂනායක රැස්වීමක් පැවැත්වෙයි.

අගවිනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය ඉහත පරිදිය.