උගුලක් අටවා හඳුන්දිවියා මරලා

උගුලක් අටවා හඳුන්දිවියා මරලා

January 29, 2015   10:26 am

නෝර්වුඩ් පොලිස් වසමට අයත් පුලියාවත්ත ඇබගන් කොටසේ දඩයම්කරුවන් විසින් අටවා තිබූ මන්දකට හසුව වැඩුණු හඳුන්දිවියෙකු මියගොස් තිබේ.

අද (29) උදෑසන වතුකම්කරුවන් දෛනික වැඩකටයුතු සඳහා යන අවස්ථාවේ හඳුන්දිවියා මැරී වැටී සිටි බව වතුපාලන අධිකාරීවරයාට දැනුම්දී ඇත.

අඩි හතරක් පමණ දිග අඩි තුනක් පමණ උස මෙම හඳුන්දිවියා තේ වතු ආශ‍්‍රිතව කාලයක් තිස්සේ සැරිසරන බවත්, මෙම හඳුන්දිවියාගේ හම හා මස් ලබාගැනීමේ අරමුණින් මෙම උගුල අටවා ඇති බවටත්, සැක කරයි.

මෙම හඳුන්දිවියා කම්බියෙන් සකස්කර තිබූ උගුලකට හසුවී එය කඩාගෙන පැමිණ තුවාල සහිතව මෙසේ මැරීවැටී ඇත.

හඳුන්දිවියන් මෙරට ඉතා දුර්ලභ ගණයේ සතෙකු ලෙස සැලකේ.

මේ පිළිබඳව වතුපාලන අධිකාරිය මඟින් නල්ලතන්නිය වනජීවී කාර්යාලයට සහ නෝර්වුඩ් පොලීසියට පරීක්ෂණ පවත්වන ලෙසට දන්වා තිබේ.

හඳුන්දිවියා මැරී වැටී සිටින අයුරු.
ඡායා රූ - රංජිත් රාජපක්ෂ