උඩුවේ හිමිගේ පන්සලේ අලි පැටියා එළියට ගන්න නියෝජ්‍ය ඇමතිත් ගිහින්

උඩුවේ හිමිගේ පන්සලේ අලි පැටියා එළියට ගන්න නියෝජ්‍ය ඇමතිත් ගිහින්

January 28, 2015   06:23 pm

උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවසන කිරුළපන, ඇලන්මැතිනියාරාමයේ රඳවාගෙන සිටින කුඩා අලි පැටවෙකු මුදා ගැනීම සඳහා සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක, වනජීවි නිලධාරීන්, පරිසර සංවිධාන ඇතුළු පිරිසක් මේවන විට එම විහාරස්ථාන පරිශ්‍රයට ගොස් තිබේ.

එහිදී අදහස් දැක්වූ වසන්ත සේනානායක මහතා කියා සිටියේ එම අලි පැටවා නීත්‍යානූකූලව ලියාපදිංචි කර නැති අලි පැටවෙකු බවයි.

මේ ගැන ලැබුණු තොරතුරක් මත එම අලියා මුදා ගැනීමට පැමිණි බවත්, අලි පැටවුන් රඳවාගෙන සිටින අය ගැන බොහෝ තොරතුරු මේවන විට ලැබී ඇති බවත්, ඒ මහතා පැවසීය.

එසේම ව්‍යාජ ලියකියවිලි මත අලි පැටවුන් රඳවාගෙන සිටින පුද්ගලයින්ට එම අලි නැවත බාරදීමට සහන කාලයක් ලබා දී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

නව රජය යටතේ අලි පැටවුන් ජාවාරම නැති කරන බවද ඒ මහතා පැවසීය.

මේ අතර එහි සිටින අප වාර්තාකරු පැවසුවේ එම අලි පැටවා රැගෙන යාමට වාහනයක් පැමිණෙන තුරු පිරිස එහි රැඳී සිටින බවයි.

එසේම උඩුවේ ධම්මාලෝක හිමියන් මේවන විට විහාරස්ථානයේ නොසිටින බවද වාර්තා වී ඇතැයි හෙතෙම පැවසීය.