කේ.පී ගැන උසාවිය නීතිපති උපදෙස් පතයි

කේ.පී ගැන උසාවිය නීතිපති උපදෙස් පතයි

January 27, 2015   01:34 pm

කේ.පී අත්අඩංගුවට ගන්නැයි ජවිපෙ විසින් පසුගියදා ඉදිරිපත් කළ පෙත්සම අද (27) සලකා බැලූ ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුව අත්අඩංගුවට ගැනීම හෝ පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව ගැන ලබන 5 වැනිදා අධිකරණයට කරුණු දක්වන්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් හා විජිත් මලලගොඩ එකී නි‍යෝගය නිකුත් කර ඇතැයි සඳහන්ය.

එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත් කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය (19) වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා සහ ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

අදාළ පෙත්සම මගින් විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ කුමරන් පද්මනාදන් නැමැත්තා මලයාසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවද මේ දක්වා ඔහුව අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති බවයි.

ඉකුත් රජය සමයේදී මලයාසියාවේ සිටි කේපී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ අතර දැන් ඔහු සෙන්චෝලේ ළමා නිවාසයක් පවත්වාගෙන යයි.