උතුරේ කඳවුරුවලට ගහලා ආණ්ඩුව ගන්න කුමන්ත්‍රණයක්

උතුරේ කඳවුරුවලට ගහලා ආණ්ඩුව ගන්න කුමන්ත්‍රණයක්

January 27, 2015   10:56 am

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මිත්‍ර බ්‍රිගේඩියර්වරයෙකු විසින් මේවන විට එක් හමුදා කඳවුරක රහසිගත කණ්ඩායමක් පුහුණුකරවමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි මාස තුනක කාලය තුළ ආණ්ඩු බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක් සඳහා මෙම පිරිස් යොදවාගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ දෙරණ 360 සජීවි වැඩසටහනට එක්වෙමිනි.

ඒ සඳහා විවිධ හමුදා කඳවුරුවලින් තෝරාගත් 400-500ක අතර පිරිසක් පුහුණු කරවමින් සිටින බවත්, මෙම පිරිස් යොදවා උතුරේ හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කොට ජාතිවාදය පතුරුවා නැවත ත්‍රස්තවාදය හිස ඔසවන බවට මවාපෑම මෙම කුමන්ත්‍රණයේ අරමුණ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එහෙත් මෙම කුමන්ත්‍රණ පිළිබඳ හමුදාවේම භට පිරිස් තොරතුරු ලබාදෙන බවත්, මෙම රජය ආරක්ෂා කිරීම සඳහා එලෙස සෑම තරාතිරකම පිරිස් සමාජ පද්ධතියක් ලෙස සහය ලබාදෙන බවත් සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

මේවන විට දූෂණ වංචා හා අක්‍රමිකතා පිළිබඳ ජනතාවගෙන් පැමිණිලි 2000 ට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කුමන්ත්‍රණය පිළිබඳ වැඩිදුර තොරතුරු තමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඒ පිළිබඳ විමර්ශනය කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.