අගවිනිසුරු ගැන තීන්දුව නීතිඥ සංගමය අද කියයි

අගවිනිසුරු ගැන තීන්දුව නීතිඥ සංගමය අද කියයි

January 26, 2015   08:48 am

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග අද(26)  දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ සිය සංගමයේ විධායක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවයි.

අගවිනිසුරු මොහාන් පිරිස් මහතා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කර තිබුණි.

අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත්වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අගවිනිසුරු මොහාන් පිරිස් මහතා මෙතෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවයි වාර්තාවෙයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් තම සංගමය ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේදි දැනුම් දෙන බව නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කර සිටියේය.