අග්‍රාමාත්‍යවරයා අද  විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානම්

අග්‍රාමාත්‍යවරයා අද විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානම්

January 20, 2015   08:30 am

නව රජය යටතේ පළමු වරට පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබේ.

කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.00 පාර්ලිමේන්තුව රැස්වෙයි.

අද දිනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

එසේම නව රජය යටතේ පාර්ලිමේන්තුව රැස්වීමේ දී අසුන් පැනවීම සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුවී තිබේ.

ඊයේ දිනයේ පක්ෂ නායක රැස්වීමේදී ද මේ පිළිබඳ අවධානය යොමුවු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

ඒ අනුව සියලු පක්ෂ නායකයින් අද පෙරවරුවේ සිය සාමාජිකයින් සඳහා පාර්ලිමේන්තු අසුන් පැනවීම පිළිබඳ දැනුම්වත් කරනු ඇති බව ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර ලබාදී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනවිරත්න මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු පරිදි විපක්ෂයේ සිට නව රජයේ දින සියයේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටියේය.

දෙමළ ජාතික සන්ධානය ද අද දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.