අලුත් පරපුරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක්

අලුත් පරපුරට කුඹුක්ගැටේදී ප්‍රහාරයක්

December 29, 2014   01:42 pm

ඒකාධිපති වියරුව පරාජය කිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඞනැඟීම ඉලක්ක කර ගනිමින් තරුණ කලාකරුවන්ගේ එකමුතුවකින් ඇරඹි‘‘අලුත් පරපුර ’’ සංවිධානයට කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.

සමනලී ෆොන්සේකා,කසුන් කල්හාර,ඉන්ද්‍රචාප ලියනගේ,ජගත් මනුවර්ණ,අමා විජේසේකර, කෞෂල්‍ය කුමාරසිංහ,උදය ධර්මවර්ධන,ලක්ෂ්මන් විජේසේකර ඇතුළු පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ පිළිබඳව කළ විමසුමකදී සමනලී ෆොන්සේකා කියා සිටියේ එජනිස පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන දොන් කමල් ඉන්දික නමැති අය ඇතුළු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

ගීත ගායනා කරමින්, අත් පත්‍රිකා බෙදමින් තම පිරිස විසින් ගෙනගිය වැඩසටහන නැවැත්විය යුතු බවට පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණ තර්ජනය කළ බවත්, ඉක්බිතිව ඔහුගේ මෙහෙයවීමෙන් ඔහු සමග පැමිණි පිරිස ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බවත් සමනලී ෆොන්සේකා අද දෙරණට කියා සිටියාය.

සිද්ධිය පිළිබඳව කුරුණෑගල පොලීසියට පැමිණිලි කරන බවද, මේවන විට තම පිරිස කුරුණෑගල නගරය දක්වා පැමිණෙමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම ප‍්‍රහාරයෙන් සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුසේම චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීණ ගායක ලක්‍ෂමන් විජේසේකර මහතා ද තුවාල ලබා ඇති බව අප වාර්තාකරු කියා සිටියි.