අනුරපුරින් තවත් 15ක් හංසයාට

අනුරපුරින් තවත් 15ක් හංසයාට

December 24, 2014   04:36 pm

උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. දිසානායක මහතා ඇතුළුව එම දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 13 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්විය.

එසේම අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ජයඅභිමානි සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රීක් සභාපති ආර්.බී ඥාණතිලක හා අනුරපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රීක් ලේකම් චන්ද්‍රසිරි දිසානායක යන අයද එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කරන බව පැවසීය.

හිටපු අධ්‍යාපන සේවා නි‍යෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන බව පවසමින් මාධ්‍ය හමුවේ අසුන්ගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී සාවිත්‍ර රමාල්ද සිල්වා මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න අසද්දී මාධ්‍යවේදීන්ට හා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාටත් පක්ෂ සාමාජිකයින්ටත් බැණ වදිමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හොඳ කියමින් එතැන තිබු පුටුවලටද පහරදී ඔහු පිට වී ගිය බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර මෙම සිද්ධිය ගැන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිරිසක් කිරුළපන පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.