ගම්මන්පිල නෙළුමෙන් මතුවෙයි

ගම්මන්පිල නෙළුමෙන් මතුවෙයි

December 22, 2014   06:00 pm

ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කළ ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්, බස්නාහිර පළාත් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.

ජාතික හෙළ උරුමය තුළින් ගිළිහී ගිය බෞද්ධ ප‍්‍රතිපත්ති බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට හෙතෙම තීරණය කළ බව ගම්මන්පිල මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම පක්ෂය ‘පිවිතුරු හෙළ උරුමය‘ නමින් නම් කර ඇති අතර එහි සංකේතය නෙළුම් මල වන බවත්, එමගින් පිවිතුරු බව, ප‍්‍රඥාව සහ සාමූහිකත්වය සංකේතමත් කරන බවත් එකී නිවේදනයේ සඳහන්ය.

පක්ෂයේ පිහිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාද දැනුම්වත් කර ඇති බවත්, මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇති බවත් කියැවෙයි.

ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 18ක්, පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ වෙනත් පක්ෂවල පළාත් පාලන මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුගේ සහයද මෙම නව පක්ෂයට හිමි වී ඇති බව එකී නිවේදනයේ වැඩිදුරටත් දැකිවෙයි.