එදා සෙල්ලම් පිස්තෝල පෙන්නූවේ යයි කියූ නගරාධිපති මෙදා අත්අඩංගුවට

එදා සෙල්ලම් පිස්තෝල පෙන්නූවේ යයි කියූ නගරාධිපති මෙදා අත්අඩංගුවට

December 22, 2014   03:34 pm

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

අද (22) කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

විශාරද ජයතිලක බණ්ඩාර සංගීතවේදියාණන් ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළත් “වියරුවට එරෙහිව වීදියේ විරෝධය‘ සංවිධානය විසින් ඊයේ (21)හම්බන්තොට බස් නැවතුම්පොළ අසල දී ජනතාව දැනුවත් කිරීමේ පත‍්‍රිකා බෙදීමක් හා වීදි නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට උත්සාහ දරන ලදී.

මෙම පිරිස නාට්‍ය සංදර්ශනය ඇරඹීමට සුදානම් වන අවස්ථාවේ දී එතැනට පැමිණි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුඵ කණ්ඩායමක් ප්‍රවීණ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුඵ කණ්ඩායමට පහරදී ඇති අතර ප්‍රහාරයෙන් හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු හය දෙනෙකු ද තුවාල ලබා තිබුණි.

‘වීදියේ විරෝධය‘ සංවිධායක වන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු පවසා තිබුණේ තමන්ට මරණ තර්ජන කළ නගරාධිපති එරාජ් ඇතුඵ කණ්ඩායම අත ගිනි අවි පවා තිබූ බවයි.

‘‘අපි පසුගිය දින දෙක තුළ ගාල්ල මාතර ප‍්‍රදේශවල මෙම ප‍්‍රචාරක කටයුතු සිදුකලා. හම්බන්තොටට පැමිණියේ ඉන් පසුවයි. මානව ක‍්‍රියාකාරීන් පිරිසක් සහ හම්බන්තොට නගර සභා විපක්‍ෂ නායක ඇතුළු පිරිසක් මෙය සංවිධානය කර තිබුණා. හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් මහතා විපක්‍ෂ නායක අයුබ් ඛාන් මහතාට මරණ තර්ජණය කළා. ඒ අවස්ථාවේ ගායක ජයතිලකත් සිටියා. ඔහුට පහර දී මහ මාර්ගයේ ඇදගෙන ගියා. එරාජ් අතේ පිස්තෝලයක් තිබුණා. ඔහු දිගටම මාව හෙව්වා. ඔහු සමග සිටි පිරිස අතේ යකඩ පොලූ සහ පිහි තිබුණා.’’ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මාධ්‍යයට පවසා තිබුණි.

මීට මාස කිහිපයකට පෙර ද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිළිබඳව තොරතුරු සොයා බැලීමට කරන ලද නිරීක්ෂණ චාරිකාවක් අතරතුර දී හම්බන්තොට නගරාධිපතිවරයා ගේ මෙහෙයවීමෙන් එජාප මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට බියගැන්වීම් හා පහරදීම් සිදුවූ අතර පිස්තෝලයක් රැගෙන දිව එන නගරාධිපතිවරයාගේ ඡායාරූප පුවත්පත්වල පළවෙද්දී හෙතෙම මාධ්‍යයට පවසා තිබුණේ තමා රැගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක් බවයි.