වඳුරඹ වේදිකාවට ගිනි තැබූ බවට සැක තිදෙනා 29 තෙක් රිමාන්ඩ්

වඳුරඹ වේදිකාවට ගිනි තැබූ බවට සැක තිදෙනා 29 තෙක් රිමාන්ඩ්

December 19, 2014   02:52 pm

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැළියක් පවැත්වීමට සකසා තිබූ, වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආධාරකරුවන් බව කියන අදාළ සැකකරුවන් අද (19) බද්දේගම දිසා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් නියෝග කළේය.

එලෙස රිමාන්ඞ් ගත කර ඇත්තේ වෘත්තීය පුහුණු අධිකාරියේ රියදුරකු වන එච් එම් ජනක දුමින්ද (33), ධීවර සංස්ථාවේ සේවකයකු වන කේ. ජී ජානක කුමාර (32) සහ එස්. ඒ දිමුතු ප‍්‍රදීප් (29) යන සැකකරුවන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සැකකරුවන් රිමාන්ඞ් කළහොත් තමා ද රිමාන්ඞ් වන බවට නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම මහතා කළැයි කියන ප‍්‍රකාශයෙන් නීතියට සහ අධිකරණයට අපහාසයක් වනවාදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා එහිදී නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥවරු 25 දෙනකු පෙනී සිටියහ.

මුතුහෙට්ටිගම මහතා මාධ්‍යයට කළැයි කියන ප‍්‍රකාශයකින් උසාවියට අපහාස වූ බව නීතීඥවරුන් විසින් අධිකරණයට දන්වා ඇතැයිද අප වාර්තාකරු කියා සිටියි.

වේදිකාව ගිනි තබන අයුරු සී.සී.ටී.වී දසුන්වල සටහන් වී තිබුණ ද එය අපහැදිලි බව වඳුරඹ පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.