වඳුරඹ, ගල්නෑව හා පුත්තලම මැතිවරණ සැරසිලිවලට ප්‍රහාර

වඳුරඹ, ගල්නෑව හා පුත්තලම මැතිවරණ සැරසිලිවලට ප්‍රහාර

December 17, 2014   09:55 am

ගාල්ල, වඳුරඹ අද සවස 4ට පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ රැළියක් වෙනුවෙන් ඉදිකළ වේදිකාවකට කිසියම් පිරිසක් හානිකර තිබේ.

ඩිෆේන්ඩර් දෙකකින් පැමිණි පිරිසක් අද අළුයම එම ප‍්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

එහිදී පැමිණි පිරිස් සැරසිලිවලට ගිනි තබා ඇති අතර මේ නිසා වාහනයකටද අලාභ සිදුව ඇත.

ගිනි තබා විනාශ කළ වේදිකාව මතම අද පස්වරුවේ එම මැතිවරණ රැළිය පැවැත්වීමට නියමිත බව අප වාර්තාකරු කියයි.

මේ අතර ගල්නෑව, කලංකුට්ටිය මාවත්තේගම ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඊයේ පස්වරුවේ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අවසන්වීමත් සමඟ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර යතුරු පැදි ගණනාවකට හානි සිදුව ඇත.

මේ අතර පුත්තලම - මදුරන්කුලිය නගරයේ පවත්වා ගෙන ගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැගත් පුවරු 02 ට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.

ඊයේ රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.