රාජපක්ෂ පවුලේ කිසිවෙක් හෝ රණවිරුවෙක් යුදාධිකරණයට ගෙනයාමට මම ඉඩ තබන්නේ නෑ

රාජපක්ෂ පවුලේ කිසිවෙක් හෝ රණවිරුවෙක් යුදාධිකරණයට ගෙනයාමට මම ඉඩ තබන්නේ නෑ

November 28, 2014   08:26 pm

මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙක්, ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවූ හමුදාපතිවරයාගේ සිට සියලු රණවිරුවන් යන කිසිවෙක් යුදාධිකරණයට ගෙනයාමට තමන් ඉඩ නොතබන බවත්, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිවරයා යුදාධිකරණයට ගෙනයන බවට කර ඇති ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතියකට අත්සන් කර නැති නිසා යුදාධිකරණයට මෙරට කිසිවෙකුත් ගෙනයා නොහැකි යැයිද හෙතෙම පැවසීය.

කෙසේ වුවද තම රජයක් යටතේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රණවිරුවන් සියලුදෙනා ආරක්ෂා කරන බවද ඔහු අවධාරණය කළේය.

කොළඹදී අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් මේවන නගර ගම් දනව් සිසාරා ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බැවින් සීගිරි ගලේත්, සමනල කන්දේත්, සිංහරාජ වනයේත් කටවුට් ගහන්න ඕනෑ යැයිද ඔහු කියා සිටියේය.

රජයේ මුදල් වැය කරමින් රාජ්‍ය සම්පත් යොදාගනිමින් සිදුකරන මෙම ප්‍රචාරණයට තම අප්‍රසාදය පළ කරන බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මැතිවරණ නීතියට අනූව එය නීති විරෝධී බවත්, මේ ගැන මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙන්ම පොලිස්පතිවරයාගේද අවධානය යොමුකරන බවත්, හෙතෙම කියා සිටියේය.

පසුගිය අවුරුදු 10දී නොදුටු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පීන්තූර දැන් ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී දකින්නට ඇති බවද ඔහු එහිදී පෙන්වාදුන්නේය.

තමන් බලයට පත්වූ විට 2015 අය වැයෙන් ජනතාවට දුන් සහන නැති කරන බවට කියන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්, ජනතාවට දුන් සහන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන අතරම දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු නවත්වන්නේ නැති බවත්, හෙතෙම පැවසුවේය.

රජයේ මැතිවරණ ව්‍යාපාරය අඩාල වී ඇති බවත්, තම මැතිවරණ ව්‍යාපාරය දිගුගමනක් ගොස් ඇති බවත්, හෙතෙම පැවසීය.