වීඩියෝ: කොටි පෙන්වා මුවන් මරන්න දෙන්න බෑ

වීඩියෝ: කොටි පෙන්වා මුවන් මරන්න දෙන්න බෑ

November 24, 2014   02:41 pm

පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇති බව හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමය විසින් රටේ සමාජ ආර්ථීක දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා වූ යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර එය ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ දළඳා සමිඳුන් වැඳ පුදාගෙන නුවරින් ආරම්භ කළ බවත්, එය අද කොටුව, බොරැල්ල, මහරගම, නුගේගොඩ ආදී නගරවල ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.

අද (24) කොළඹ, කොටුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

මේ රටේ ඒකීයභාවයට අනතුරක් කිරීමට කිසිම පුද්ගලයෙකුට කිසිම විටක අපි ඉඩ තබන්නේ නැහැ. යුධ අපරාධ චෝදනාවලට මුවා වෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට හෝ යහ පාලනය යටපත් කිරීමට හැකියාවක් නෑ. යහ පාලනය දැන් රටට ඉතා අත්‍යාවශ්‍යයි. දූෂණ වංචා මැඩලන්න, ඒ වගේම සාධාරණ මැතිවරණ පවත්වන්න, විශේෂයෙන්ම අධිකරණය ස්වාධීන කරන්න, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම රට ඉදිරියට යාමට අත්‍යාවශ්‍ය වී තිබෙනවා. එමෙන්ම විධායක ජනාධිපතිවරයාට ඇමතිවරුන් තමන්ට රුචි ප්‍රමාණයක් පත්කිරීමට තිබෙන බලය තමන්ට කැමති ඕනෑම කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට තිබෙන බලය තමන්ට කැමති ඕනෑම කෙනෙක් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් බවට පත්කිරීමට තිබෙන බලය ආදී අත්තනෝමතික බලතල වහාම පාලනය කළ යුතුයි.

මැතිවරණ ක්‍රියාදාමය මේ අනුපාත ඡන්ද ක්‍රමය වෙනස්කළ යුතුයි. ඒක යුධ අපරාධ චෝදනාවලට මුවාවෙලා යටපත් කරන්න දෙන්න බෑ. ඒක කොටියො පෙන්නල මුවෝ මරනව වගේ වැඩක්. ඒ නිසා අපි මේ දෙක දෙකක් ලෙස සැලකිය යුතුයි. අපි ජනතාවට ප්‍රකාශ කරනව ව්‍යාජ ප්‍රචාරවලටල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ විදේශගත බලවේගවල ප්‍රචාරවලට අපි හසුවිය යුතු නෑ. අපි බොහොම පැහැදිලිව මේ රටේ ඒකීය භාවයත්, මේ රටේ භෞමික අඛණ්ඩතාවයත්, රණවිරුවන්ගේ අයිතියත් වෙනුවෙන් එදත් පෙනී සිටිය. අදත් පෙනී ඉන්නව. ව්‍යාජ බලවේග කුමක් කීවත් මේ කටයුත්ත අභීතව ඉටුකළේ ජාතික හෙළ උරුමය. ඉදිරියටත් අභීතව ඒ කටයුතු අපි ඉටු කරනව.

මේ අවස්ථාවේ අපේ ප්‍රමුඛතාවය වෙලා තියෙන්නේ යහපාලනය ප්‍රශ්නය විසඳීම. ඒකට අපි රටපුරා බලගතු උද්ඝෝෂණයක් ගෙනයනවා. ඒ සඳහා එකතු කළ හැකි සෑම කෙනෙක්ම එකතුකරගෙන මේ රටතුළ පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු සිදුකිරීමට අප බලාපොරොත්තු වෙනවා.