මම පොදු අපේක්ෂකයා වී පැය 72න් රටේ විශාල පරිවර්තනයක් වුණා

මම පොදු අපේක්ෂකයා වී පැය 72න් රටේ විශාල පරිවර්තනයක් වුණා

November 24, 2014   12:07 pm

තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව පවසා ගෙවුණු පැය 72ක තුළ ‍රටේ ‍විශාල පරිවර්තනයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තමන්ට ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනූව බලාපොරොත්තු වුණාටත් වඩා සහයක් ජනතාවගෙන් ලැබී ඇතැයි ඒ මහතා කියයි.

ඒ අනූව තමන් ඉදිරි මැතිවරණ ව්‍යාපාරය, ශිලාචාරව, හික්මීමෙන්, කාටවත් මඩ ගැසීමෙන් තොරව සිදුකිරීම තම අපේක්ෂාව යැයි ඒ මහතා අද (24) මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ අස්ගිරි හා මල්වතු විහාරවලට ගොස් මහනාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගන්නා ලදී.

අනතුරුව ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සිංහල බෞද්ධයෙකු ලෙස තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට මත්තෙන් ත්‍රිවිද රත්නයේ ආශිර්වාද ගැනීමට පැමිණි බවත්, එහිදී බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය තමන්ට ඉහළින්ම ලැබුණු බවත්ය.

තමන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණ සටනට ඉදිරිපත් වී සිටින බවත්, මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සියලු සාධාරණ අපේක්ෂා ඉටුකිරීම වෙනුවෙන් කැපවන බවත් එහිදී හෙතෙම පැවසීය.

එසේම තමන් එම තනතුරට ‍තෝරාපත් කර ගත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව එම පක්ෂයේ සෙසු ක්‍රියාකාරීන්ට මෙන්ම මෙම ගමනට සහය දෙන සෙසු පක්ෂවලට ද සිය ප්‍රණාමය පුදකරන බව ඔහු කියා සිටියේය.

ඉදිරි දින කිහිපයේදී විපක්ෂයේ පොදු සන්ධානය ලෙස මැතිවරණ ලකුණ හා පක්ෂයේ නම ප්‍රකාශ කරන බවත්, අද පස්වරුවේ ජයශ්‍රීමහ බෝධිය වැඳුපුදා ගැනීමට යන අතරම අය වැය ඡන්ද විමසීමට සහභාගි නොවන බවත්, හෙතෙම පැවසුවේය.