පොලිස් නිලධාරීන් දස දහසකගේ මාරුවීම් නවතියි

පොලිස් නිලධාරීන් දස දහසකගේ මාරුවීම් නවතියි

November 23, 2014   01:47 pm

පොලිස් නිලධාරීන් දස දහසක පමණ සංඛ්‍යාවකට ලබාදීමට නියමිතව තිබු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ ගත් තීරණයකට අනුව ලබන ජනවාරි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් දස දහසක පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිතව තිබු බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පොලිස් කොස්තාපල්වරුන්, සැරයන්වරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් ඒ අතර වන බවයි ඔහු පැවසුවේය.

ඉන් වැඩි පිරිසක් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට අනෙක් ප්‍රදේශවලටත් එම ප්‍රදේශවල සිට උතුරු නැගෙනහිර පළාත්වලටත් මාරු කර යැවීමට සැලසුම් කර තිබු බව සඳහන්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එම ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කර ඇති අතර පෙබරවාරි මස පළමු වන දින සිට එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.