ජනාධිපතිවරණය ජනවාරි 08 දා

ජනාධිපතිවරණය ජනවාරි 08 දා

November 21, 2014   06:44 pm

2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

තමන් තුන්වන වරටත් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එ.ජ.නි.ස. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එ.ජා.ප. එක්විය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

පොදු විපක්ෂය ලෙස පවත්වන එම මාධ්‍ය හමුවට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ධීවර ඇමති රාජිත සේනාරත්න, අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක, මහාචාර්ය රජිව් විජේසිංහ, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අර්ජුන රණතුංග, එක්සත් ජාතික පක්ෂයට ඊයේ එක්වූ වසන්ත සේනානායක ඇතුළු පිරිසක් අදාළ මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

එහිදී ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

තමන් ජනපති ධූරයට පත්වූ පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරන බවද දින 100ක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවද හෙතෙම පැවසුවේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ දිනය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ මහත් කුතුහලක් ජනතාවට දනවන කාරණයක් විය.