මොළේ කුලප්පු අයට නම් මේකේ සහන නෑ - ඡන්දෙන් පස්සේ දෙනවා හොම්බෙන් යන්න

මොළේ කුලප්පු අයට නම් මේකේ සහන නෑ - ඡන්දෙන් පස්සේ දෙනවා හොම්බෙන් යන්න

October 24, 2014   10:16 pm

ජනපති මහින්ද රාජපක්ෂ 2015 අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීන් අය වැය ගැන බොහො ගුණ අගුණ කියන ලදී.

පහත දැක්වෙන්නේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ඒ ගැන දැක්වූ අදහස් වල සාරංශයකි.

මේක කන්දක් විලිලාලා මී පැටියෙක් වැදුවා වගේ අය වැයක් - එජාප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.

ඒක වරදක් නෙවෙයි. ඒක තමයි ඉතිහාසයේ හැමදාම වෙලා තියෙන්නේ. මුකුත් කියන්න දෙයක් නැති නිසා විරුද්ධ පක්ෂය කියයි මේක ඡන්දයට දුන්න අය වැයක් කියලා කියයි. ඡන්දෙට හරිමෙහෙම අය වැයක් දෙන්න පුළුවන් කාටද? පරදින අයට දෙන්න බෑ. දිනන අයට දෙන්න පුළුවන්. මොකො දින්නට පස්සේ මේ අය වැය අවලංගු වෙනවාද? - ඇමති විමල් වීරවංශ.

ජාතික අය වැය කියනවාට වඩා හොඳයි ජාතික අල්ලස් දිනය කිව්වානම්. මැතිවරණය ඉලක්ක කර සෑම ගෙදරකින්ම ඡන්දයක් ගන්න බලාගෙන හදපු අය වැයක්. - ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති.

ජේවීපි එක තක්කු මුක්කු වෙන අය වැයක්. පැහැදිලිවම පේනවා මේ අය වැයේ සහන නොලැබුණු ක්ෂේත්‍රයක් නෑ. - ඇමති ඩිලාන් පෙරේරා.

සහන පිදුරු ගහේ එල්ලලා. මැතිවරණවලට බයේ හදපු උඩින් සුන්දර යටින් ගින්දර අය වැයක් තමයි මෙදාපාර ඉදිරිපත් කරලා තියෙන්නේ. - එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක.

මුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයටම මහත් දැවැන්ත පිම්මක් පැනලා ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙළක් සකස් වෙලා තියෙනවා. - ඇමති කෙහෙළිය රඹුක්වැල්ල.

මැතිවරණයක් ඉලක්ක කරලා කළ දෙයක්. නමුත් මිනිස්සු මේවාට රැවටෙන්නේ නෑ. - එජාප මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න.

මොළේ කුලප්පු අයට නම් මේක සහනදායි අය වැයක් වෙන්නේ නෑ- ඇමති රෝහිත බෝගොල්ලාගම.

ඡන්දේ වෙනකම් පොරොන්දු ටික දීලා ඡන්දෙන් පස්සේ දෙනවා හොම්බෙන් යන්න මේක තමයි අය වැය. - එජාප මන්ත්‍රී කබීර් හෂීම්