එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට දේශපාලන බලපෑමක් එල්ල වුණේ නෑ

එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට දේශපාලන බලපෑමක් එල්ල වුණේ නෑ

October 21, 2014   06:25 pm

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් යුරෝපා අධිකරණය ලබාදී ඇති තීන්දුව දේශපාලනික තීරණයක් නොවන බව යුරෝපා සංගමය පවසයි.

එය නීත්‍යානූකූල අධිකරණමය තීරණයක් බව එම සංගමය පෙන්වාදෙයි.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

රටක අධිකරණමය පද්ධතිය ව්‍යවස්ථාදායකයෙන් වෙන්ව කටයුතු කිරීම යහපත් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් බව යුරෝපා සංගමය පෙන්වාදෙයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේ දී යුරෝපා කවුන්සිලය විසින් අනුගමනය කර ඇති පදනම පිළිගත නොහැකි බවට යුරෝපා අධිකරණය විසින් පසුගියදා තීන්දුවක් ලබාදුන්නේය.

ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීම තාවකාලිකව ඉවත් වන බව වාර්තා විය.

කෙසේ වුව ද ඉදිරි කාලය තුළ දී සිදුකිරීමට ඉඩ ඇති ඕනෑම ආකාරයක අරමුදල් ගනුදෙනු අත්හිටුවීමේ අවශ්‍යතාව එම තීන්දුවෙන් තහවුරු කර ඇති බවට ද වාර්තා වුණි.

2006 වසරේ මැයි මාසයේ සිට යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස අඛණ්ඩව නම් කර තිබුණි.

යුරෝපා කවුන්සිලය සහ යුරෝපා කොමිසම මෙන්ම බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය යන සාමාජික රටවල් වගඋත්තරකරුවන් කරමින් එල්.ටී.ටී.ඊ. හිතවාදින් විසින් අදාළ තීරණය අභියෝගයට ලක් කර තිබු බව වාර්තා විය.

එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අරගලය ත්‍රස්ත විරෝධි නීතිය යටතට නොව ජාත්‍යන්තර මානුෂීය නීතියට ඇතුළත් වන බව එම හිතවාදින් ප්‍රකාශ කරන ලදී.

එහෙත් ලක්සම්බර්ග් හිදි රැස්වූ යුරෝපා අධිකරණය ලබාදුන් තීන්දුවෙන් දක්වා ඇත්තේ ජාත්‍යන්තර නීතිය තුළ සන්නද්ධ ගැටුම් ද ත්‍රස්ත විරෝධි යුරෝපා නීතියට අදාළ වන බවයි.