ර‍ාජිතගේ අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් නොසන්සුන්

ර‍ාජිතගේ අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් නොසන්සුන්

October 20, 2014   11:31 am

කොළඹ, මාළිගාවත්තේ පිහිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට මේවන විට ධීවරයින් 500ට අධික පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වන විදේශීය යාත්‍රා තහනම් කරන ලෙසත්, යාත්‍රා නිරීක්ෂණ පද්ධති කඩිනමින් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාවය ඇරඹු බව හලාවත බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සුනිල් ප්‍රේමජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මේ අතර විරෝධතාවයේ නිරත පිරිස් වෙත එල්ල වූ යම් ප්‍රහාරයක් නිසා මේවන විට අමාත්‍යංශ පරිශ්‍රයේ සිටින පිරිස් හා විරෝධතාවයේ නිරත පිරිස් අතර ගල්මුල් හුවමාරුවක් ද සිදුවන බව අප වාර්තාකරු කියා සිටියි.

එම නොසන්සුනාතාවය හේතුවෙන් විරෝධතාකරුවන් සිව්දෙනෙකු ද තුවාල ලැබු බව සුනිල් ප්‍රේමජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

විරෝධතාවය සඳහා හලාවත, කල්පිටිය, වෙන්නප්පුව, මිගමුව, තලවිල සහ තොඩුවාව යන ප්‍රදේශවල ධීවරයින් එක්ව සිටි බව වාර්තා වේ.