මේ වන විට මොණරාගල 40% - බදුල්ල 30% යි

මේ වන විට මොණරාගල 40% - බදුල්ල 30% යි

September 20, 2014   12:11 pm

ඌව පළාත් සභා ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් තිබේ.

ඡන්ද විමසීමේ කටයුතු අද(20) උදෑසන 08.00 ට ආරම්භ වු අතර අද පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද මධ්‍යස්ථාන 832 කදී ඡන්ද විමසීම සිදු කෙරෙන අතර ඡන්ද භාවිතය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 31,820 කි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 99,066 ක් වන අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 32,764 ක් වෙයි.

මෙවර මැතිවරණයට අපේක්ෂකයින් 617 දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති අතර ඌව පළාත් සභාව සඳහා තෝරා ගැනෙන මන්ත්‍රීධුර සංඛ්‍යාව 32 කි.

මීට අමතරව ඌව පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රීධුර 02 ක් ද හිමි වෙයි.

ඡන්ද විමසීම ආරම්භ වී මේ වන විට පැය 05 කට වැඩි කාලයක් ගත වී ඇති අතර ඉතා සාමකාමීව මැතිවරණ කටයුතු සිදු කෙරෙන බව මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළේය.

බදුල්ල අද උදෑසන 10.00 වන විට 30% ක ප්‍රතිශතයක් ජන්දය භාවිත කර ඇති අතර මොණරාගල දිස්ත්‍රික්කයේ 40% ක ප්‍රතිශතයක් ජන්දය භාවිත කර තිබේ.