මලයාසියාවට හොර වීසා හැදූ දෙන්නෙක් රිමාන්ඩ්

මලයාසියාවට හොර වීසා හැදූ දෙන්නෙක් රිමාන්ඩ්

September 18, 2014   02:53 pm

මලයාසියාවට යාම සඳහා ව්‍යාජ වීසා සකස් කිරීමේ ජාවාරමක නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ව්‍යාජ වීසා මගින් මලයාසියාවට යාමට උත්සාහ කළ පුද්ගලයින් 07 දෙනෙකු පසුගිය 16 වන දින අළුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 05ක පිරිමි ළමයෙකු ද සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය.

කුඩා ළමයා හැර සෙසු සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම පිරිසට ව්‍යාජ වීසා සකස් කර දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.