බණ්ඩාරවෙලදී එජාපය හා සන්ධානය ගැටෙයි - 2ක් රෝහලේ

බණ්ඩාරවෙලදී එජාපය හා සන්ධානය ගැටෙයි - 2ක් රෝහලේ

September 17, 2014   06:05 pm

බණ්ඩාරවෙල, මාතැටිල්ල ප්‍රදේශයේදී දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

අද පස්වරුවේ මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඉදිරිපිට නවතා තිබු බස් රථයක එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් විසින් පෝස්ටර් ඇලවීමට ගත් උත්සාහයක් හේතුවෙන් බහින්බස්වීමක් සිදුව ඇති අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබු ආධාරකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් පිහිඇනුම සිදුකළ අදාළ ආධාරකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.