උපාධිධාරීන් ඌවේ හාල් බෙදන්න ගෙනියලා

උපාධිධාරීන් ඌවේ හාල් බෙදන්න ගෙනියලා

September 17, 2014   04:27 pm

ආණ්ඩුව රටටම බොරු කියමින් උපාධිධාරීන් උ‍ෟවේ ඡන්ද වැඩ සඳහා රැගෙන ගොස් ඇති බවත්, ඒ අනූව උපාධිධාරීන් ලවා සහල් බෙදීමේ කටයුතු අද (17) ඌව පළාතේ ප්‍රදේශ රැසක සිදුකරන බවත්, උපාධිධාරි මධ්‍යස්ථානය පවසයි.

එහි සමලේකම් ධම්මික මුණසිංහ විසින් මේ පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් වැඩිදුරටත් පහත පරිදිය.



මෙවර ඌව පළාත් සභා මැතිවරණයේදී වත්මන් පාලකයින් විසින් රාජ්‍ය සේවකයන් තම මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම වැඩිකර තිබේ. විශේෂයෙන් අලුතින් බඳවාගත් උපාධිධාරීන් මේ සඳහා වැඩි වශයෙන් යොදා ගැනීමට උත්සාහ දරන ලදී.

කෙසේ වෙතත් මේ පිළිබඳ වෙනත් පාර්ශ්ව විසින් අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව උපාධිධාරීන් ඇතුළු සමස්ථ රාජ්‍ය සේවකයින් කිසිදු මැතිවරණ කටයුත්තක් සඳහා සම්බන්ධ කර නොගන්නා බවට ආණ්ඩුව විසින් පවසන ලදී.

නමුත් අද දින (17) ඌව පළාතේ ප‍්‍රදේශ රැසක ආර්ථික අමාත්‍යාංශයේ උපාධිධාරීන් යොදා ගනිමින් ජනාධිපතිවරයාගේ සහ ඌව මහ ඇමැති අපේක්ෂකවරයාගේ රුව සහිත ලොරි රථ වල හාල් බෙදීම සඳහා යොදාගනිමින් ඇත. මේ පිළිබඳව ඒ සඳහා සම්බන්ධ උපාධිධාරී රාජ්‍ය සේවකයින් විරෝධතා දැක්වුවද බලහත්කාරය පාවිච්චි කරමින් ඔවුන් සම්බන්ධ කරගෙන ඇත.



මහියංගනය - LI 7300

මීගහකිවුල - LK2800

හපුතලේ - LJ6800

වැලිමඩ - LK4600

බිබිල - LK1700

ඇල්ල - LK6400

යන ප‍්‍රදේශවල ඉහත ලොරි අංක සහිත රථවල හාල් බෙදීම මොවුන්ට පවරා ඇත.

මෙසේ රාජ්‍ය සේවකයින් යොදාගෙන තම මැතිවරණ කටයුතු සිදුකිරීම පිලිකුලෙන් හෙළාදකින උපාධිධාරී මධ්‍යස්ථානය සියලු රාජ්‍ය සේවකයින්ගෙන් මෙම තත්වය පරාජය කිරීම සදහා එකතු වන මෙන් ඉල්ලා සිටින අතර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනුයේ මෙවැනි කි‍්‍රයා නතර කිරීම සඳහා බිය නොවී ඉදිරිපත් වන ලෙසයි.



ධම්මික මුණසිංහ

සමලේකම් - උපාධිධාරී මධ්‍යස්ථානය