පකිස්ථානය ඔත්තුකරුවන් සොයාගන්නේ ලංකාවෙන් - ඉන්දියාව

පකිස්ථානය ඔත්තුකරුවන් සොයාගන්නේ ලංකාවෙන් - ඉන්දියාව

September 15, 2014   10:46 am

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ වෙසෙන ද්‍රවිඩ භාෂාව කතා කරන මුස්ලිම් ජාතිකයින් පකිස්ථානය වෙනුවෙන් ඔත්තු බලන්නේදැයි ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශවල මෙසේ අවධානය යොමුව ඇත්තේ චෙන්නායිහි දි පසුගියදා අත්අඩංගුවට ගත් අරුන් සෙල්වරාජන් නැමැති පුද්ගලයා පකිස්ථානය වෙනුවෙන් ඉන්දියාවේ සිට ඔත්තු බැලූ බවට තොරතුරු අනාවරණය වීම තුළයි.

පකිස්ථානය වෙනුවෙන් ඔත්තු බැලූ තෙවැනි ශ්‍රී ලාංකිකයා හෙතෙම බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්ථානය විසින් තම රට වෙනුවෙන් ඔත්තු බැලීම සඳහා ඔත්තුකරුවන් සොයාගන්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතෙන් බවට ඉන්දීය බුද්ධි අංශ සැක පළ කර ඇත‍්තේ එම පළාතේ ද්‍රවිඩ හා මුස්ලිම් වැසියන් විශාල පිරිසක් පදිංචිව සිටීම නිසයි.

ඉන්දීය බුද්ධි අංශ විසින් සකීර් හුසෙන් නැමැති ශ්‍රී ලාංකිකයෙකු පසුගිය අප්‍රේල් මාසයේදී චෙන්නායි හිදි අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු ඉන්දියා‍ෙව් අමෙරිකානු හා ඊශ්‍රායල කොන්සාල් කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා පකිස්ථානය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වී ඇත.

එසේම මොහොමඩ් සුලෙයිමාන් නැමැත්තෙකු ද මලයාසියාවේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහුට ද ඉහත කී චෝදනා එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.