චීන ජනාධිපති හෙට ශ්‍රී ලංකාවට එයි

චීන ජනාධිපති හෙට ශ්‍රී ලංකාවට එයි

September 15, 2014   07:08 am

චීන ජනාධිපති සී ජින්පිං මහතා හෙට දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

දිවයිනට පැමිණෙන චීන ජනාධිපතිවරයා දින දෙකක් මෙරට රැඳී සිටින බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

චීන ජනාධිපතිවරයෙකු වසර 28කට පසුව මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර හෙතෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසි සාකච්ඡා කිරිමට නියමිතව ඇත.

මීට අමතරව චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා සහ කථානායක චමල් රාජපක්ෂ මහතා මුණගැසි සාකච්ඡා කිරීමටද නියමිත බව වාර්තා වේ.

චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දි චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 20කට අත්සන් තැබිමට නියමිතය.

මීට අමතරව නොරොච්චෝල විදුලිබලාගාරයේ තුන්වන අදියර විවෘත කිරීම සහ අලුතින් ඉදි කිරීමට නියමිත වරාය නගරයට ද මුල්ගල තැබීම චීන ජනාධිපතිවරයා අතින් සිදු කරනු ඇත.

කෙසේ වෙතත් චීන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම සංචාරය ඉවහල් වනු ඇති බවයි.