ඒක පුද්ගල ආදායම වැඩිවීමෙන් පමණක් සෑහෙන්න බෑ

ඒක පුද්ගල ආදායම වැඩිවීමෙන් පමණක් සෑහෙන්න බෑ

August 29, 2014   06:24 pm

ඒකපුද්ගල ආදායම වැඩි කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී තම පාලන කාළය තුළ දූගී දුප්පත් කමින් තොර ආර්ථික වශයෙන් ශක්තිමත් ගම් දනව් මේ රට පුරා ඇති කිරීම ජනාධිපතිතුමාගේ අරමුණ යැයි මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පවසයි.

අද(29) රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

2015/2017 මධ්‍ය කාලීන අයවැය යෝජනා සඳහා පළාත් සභා මට්ටමින් අදහස් ලබාගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු මහා භාණ්ඩාගාරයේ ජ්‍යේෂ්ඨ නිළධාරී රැසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා ඇතුළු පළාත් අමාත්‍යවරුන් ද පළාත් සභාවේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් ද මෙම සාකච්ඡාවට එක් වූහ.

මෙහිදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා කියා සිටියේ 2015/2017 මධ්‍ය කාලීන ආයෝජන සැලැස්ම සහ ඉදිරි අයවැය යෝජනා සකස් කිරීමට පූර්වගාමීව ඒ ඒ පළාත් සභාවල අවශ්‍යතා සහ අදහස් උදහස් විමසමින් මෙවන් සංවාදයක් ආරම්භ කරනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියමයක් හේතුවෙන් බවය.

මීට පෙර වයඹ සහ මධ්‍යම පළාත් සභා සමග මේ හා සමාන සංවාද වට දෙකක් පැවති බවට ජයසුන්දර මහතා මෙහිදී සිහිපත් කළේය.

පළාත් සභා ක්‍රමය මෙරට ආරම්භ වී වසර 25ක් ඉක්ම ගොස් ඇතත් ජාතික අයවැය සම්පාදනය සඳහා යෝජනා අදහස් උදහස් ලබාගැනීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන් පළාත් සභා බලධාරීන් මුණ ගැසෙන්නේ ඉතිහාසයේ පළමු වරට යැයි ද පී.බී ජයසුන්දර මහතා කියා සිටියේය.

ඉදිරි අයවැය ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් මෙරටට ඉදිරිපත් කරන දස වෙනි අයවැය බව කී ඔහු එකී ඓතිහාසිකත්වය සේම රට ශීඝ්‍ර දියුණුවට ලක් වෙමින් තිබියදී රටේ කිසියම් හෝ ප්‍රදේශයක් එම දියුණුවට හසු නොවී ඇත්නම් එම ප්‍රදේශද ශීඝ්‍ර සංවර්ධනයකට දායක කර ගැනීම පළාත් මට්ටමින් මුදල් අමාත්‍යංශය සිදු කරන මෙම සංවාදයන්හි අරමුණ බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍යය,අධ්‍යාපන,මාර්ග ,විදුලිය මේ කුමන ක්ෂේත්‍රයකට අදාළව වුව සැලසුම් සම්පාදනයේදීත් ප්‍රතිපාදන වෙන් කිරීමේදීත් දුෂ්කර ගම් දනව් වලට වැඩි අවධානය යොමු කරමින් ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය නංවාලීම සඳහා පළාත් සභා ඉදිරිපත් කරන යෝජනා වලට අවශ්‍ය අරමුදල් ලබාදීමට රජය සූදානම් බවද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.