ලංකාව  සහ ඉන්දියාව  කරුණු 3ට එකඟවෙයි

ලංකාව සහ ඉන්දියාව කරුණු 3ට එකඟවෙයි

August 23, 2014   12:43 pm

මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කරුණු තුනක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ.

ඉන්දු - ශ්‍රි ලංකා ආරක්ෂක ප්‍රධානීන් අතර නවදිල්ලිහිදී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවන්ට පැමිණ ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

අදාළ සාකච්ඡාව සඳහා උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා යන මහත්වරුන් සහභාගි වී තිබේ.

ඉන්දියාව නියෝජනය කරමින් එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ප්‍රධානී නියෝජ්‍ය ප්‍රධානී සහ ඉන්දීය දක්ෂිණ කලාපය භාර මත්ද්‍රව්‍ය නාශක ප්‍රධානීන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වු බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව මත්ද්‍රව්‍ය බුද්ධි තොරතුරු ක්ෂණිකව හුවමාරු කරගැනීම සහ එම තොරතුරු මත ක්ෂණික වැටලීම් සිදුකිරීමට දෙරටේ ආරක්ෂක අංශ ප්‍රධානීන් එකඟතාව පළ කර තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ හඳුනාගත් පුද්ගලයින් දෙරටින් එක් රටකට සංක්‍රමණය වන අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිළිබඳව ද මෙහිදි එකඟතාව පළ වු බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.