යුරෝපයේ ‘මද්‍රසා වර්ගයේ‘ පාසල් අරිමින් එල්.ටී.ටී.ඊයට පණදෙනවා

යුරෝපයේ ‘මද්‍රසා වර්ගයේ‘ පාසල් අරිමින් එල්.ටී.ටී.ඊයට පණදෙනවා

August 22, 2014   04:07 pm

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුරෝපීය සංගමයට අයත් රටවල ‘මද්‍රසා වර්ගයේ‘පාසල් ස්ථාපිත කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

ඒවා ‘ටැමිල් චෝලායි‘යනුවෙන් නම් කර ඇති බවත්, ඒවායේ එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධාන ගත කිරීමට අදාළව ද්‍රවිඩ තරුණ පිරිස් බලමුළුගැන්වීම සඳහා භාවිතා කරන බව හෙතෙම අනාවරණය කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය මෙන්ම එහි පෙරමුණු සංවිධාන විසින් පවත්වනු ලබන වැඩසටහන් සඳහා එකී පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහභාගිවිය යුතු බවට දැඩි බලපෑම් එල්ල කරන බවද ඔහු පෙන්වාදුන්නේය.

මේ ආකාරයෙන් යුරෝපා රටවල විවිධ නම්වලින් ආරම්භ කර ඇති 300 ට වැඩි ‘ටැමිල් චෝලායි‘පාසල්වල වයස අවුරුදු 4-21 දක්වා වයස් කාණ්ඩවල ළමුන් 20,000 ට වැඩි ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු සිදුකරන බව රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය සෘජුව හා වක්‍රව පරිපාලනය කරන මෙම පාසල්වලට එකී රටවල රජයන්ද මූල්‍යමය අනුග්‍රහය දක්වන බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත් යුරෝපා සංගමයේ නීතිමය කටයුතු පිළිබඳ බලධාරීන් විටෙක මෙවැනි කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, 2009 වසරේ මැයි මාසයේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් 32 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් 21 දෙනෙකුට චෝදනා ගොනු කර ඇති බවත් ආරියසිංහ මහතා සිහිපත් කළේය.

කොළඹ, පැවති ආරක්ෂක සමුළුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා මේ බැව් සඳහන් කළ බව The New Indian Express උපුටා දක්වයි.