මාෆියාවක් ගැන දැන ගන්නට නෑ

මාෆියාවක් ගැන දැන ගන්නට නෑ

August 21, 2014   01:24 pm

පෙට්‍රල් හා ඩීසල්වල මිල සංශෝධනය කිරීමේ අදහසක් දැනට නැතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ආසියාවේ ඉන්ධන මිල සඳහා ඇති අඩුම මිල දැන් අප රටේ පවතින බවද ඔහු කියයි.

ලංකා සුපර් ඩීසල් ‍‍ෆෝස්ටාර් නමින් ලීටරයක් රුපියල් 145 මිලට නව තෙල් වර්ගයක් හෙට (22) කුරුණෑගල දී හඳුන්වා දෙන බව ඛනිජ‍තෙල් කර්මාන්ත අමාත්‍යංශයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි හෙතෙම පැවසීය.

නව ඉන්ධනය මගින් ඩීසල් වාහනවල ඉන්ධන දහනය සුමට කරන බවත්, ඉන්ධන දහනය කාර්යක්ෂම කරන බවත්, ඔහු කියා සිටියේය.

එම තෙල් වර්ගයේ ගෙන්දගම් අංශු ඉතා අවම බැවින් එංජිම හා එහි‍ කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවද හෙතෙම පැවසීය.

එංජිමේ ජීව කාලය ඉහළ නංවන අතරම එම තෙල් වර්ගය පරිසරයට වඩා හිතකර බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඛනිජ තෙල් ගෙන්වීමේදී හා බෙදාහැරීමේදී මාෆියාවක් සිදුවන බව දැන ගන්නට නැතැයි ද හෙතෙම පැවසීය.

ඉරානයෙන් තෙල් ගෙන්වීමක් සිදුනොකරන බවද මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වලදී ස්වයංක්‍රීය බිල්පතක් නිකුත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.

පසුගියදා බෝයාව කැඩුණ‍ වේලාවේ අවාසනාවකට මුහුද රළුව තිබූ නිසා එය යථා තත්ත්වයට පත් කිරීමට බාධා පැමිණි බවද ඔහු සඳහන් කළේය.