හම්බන්තොට වරායේ වැඩ ලංකාව චීනයට දුන්නේ ඉන්දියාවේ වැරැද්දෙන්

හම්බන්තොට වරායේ වැඩ ලංකාව චීනයට දුන්නේ ඉන්දියාවේ වැරැද්දෙන්

August 20, 2014   02:34 pm

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් චීනය කැඳවා ගත්තේ එම අවස්ථාව ඉන්දියාව පැහැර හැරීම නිසා බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා පවසයි.

කොළඹදී පැවැත්වෙන 2014 ආරක්ෂක සමුළුව අද (20) අමතමින් හෙතෙම මේ බව පැවසීය.

හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලංකාව එකල ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබුණු බවත්, එහිදී කරුණානිධි එයට විරුද්ධ වීම නිසා ඉන්දියාව එම ව්‍යපෘතිය අත්හැර දැමීම හේතුවෙන් එම අවස්ථාව චීනයට ලැබුණු බවත්, හෙතෙම කියා සිටියේය.

මේ නිසා, හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා සම්බන්ධ වීමට ඉන්දියාවට තිබුණු අවස්ථාව ගිළි හී ගිය බවත්, ශ්‍රී ලංකා-චීන සබඳතා තරවීම පිළිබඳව ඉන්දියාව කලබලයට පත් නොවිය යුතු බවත්, හෙතෙම කිවේය.

ලංකාව උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි නිසා ලංකාව කෙරෙහි ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ ජාතික අභිලාෂය (National Interest) පදනම් කරගෙන මිස ප්‍රාන්තවල බලපෑම් මත නොවන බවද ඔහු එහිදී අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ඉන්දීය අගමැතිවරයාට තමිල්නාඩුව වැනි ප්‍රාන්තවල බලපෑමකින් තොරව ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය ගොඩනගා ගැනීමට හැකි ප්‍රබල ජනවරමක් ලැබී තිබෙන නිසා ඉදිරියේදී ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා තව තවත් තර වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාව සමබර එකක් නොවන බවද පැවසූ ඒ මහතා උතුරේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට යෑමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඇරයුම ප්‍රතික්ෂේප කිරීමද විවේචනය කළේය.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ලිපි රැසක් රචනා කර තිබෙන සුබ්‍රමනියන් ස්වාමි චීනය, පාකිස්තානය සහ ඊශ්‍රායලය සමගද සමීපව කටයුතු කර ඇති අතර ඔහු ඉන්දියාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි.