පකිස්ථානුවන් 36ක් පිටුවහල් කිරීම කනගාටුදායකයි

පකිස්ථානුවන් 36ක් පිටුවහල් කිරීම කනගාටුදායකයි

August 6, 2014   10:56 am

පකිස්ථානු ජාතිකයින් 36 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

මේ මස (01) සිට ඊයේ (05) දක්වා කාලය තුළදී පකිස්ථානුවන් 36 දෙනෙකු ශ්‍රී ලංකා රජය විසින් පිටුවහල් කර ඇති බවත් ඒ අතර කුඩා ළමුන් මෙන්ම කාන්තාවන් ද වන බව එම ආයතනය පෙන්වාදෙයි.

එම පකිස්ථානුවන් පිරිස එරටට පැමිණ ඇති බවත් එහෙත් ඔවුන් පකිස්ථානයට පැමිණියේ කවර කොන්දේසි යටතේදැයි අධ්‍යයනය කිරීමට නොහැකි වූ බවද එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය කියයි.

කෙසේ වුවද පකිස්ථානුවන් තවදුරටත් මෙලෙස පිටුවහල් කිරීම නතර කරන ලෙසද ඔවුන් එරට තුළදී අනාරක්ෂිත තත්ත්වයක සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම කාර්යාලය සඳහන් කරයි.

එසේ පැමිණි අය අවදානම් තත්ත්වයක පසුවෙද්දී යළි පකිස්ථානයට පිටුවහල් කිරීම පිළිගත නොහැකි කරුණක් බවත් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ජාත්‍යන්තර ආරක්ෂාව සැලසිය යුතු බවත් එම ආයතනය සඳහන් කරයි.

මේ අතර තවත් පකිස්ථානුවන් 205ක්, ඇෆ්ගන් හා ඉරාන සරණාගතයින් පිරිසක් ද තවදුරටත් ශ්‍රී ලංකාව බාරයේ පසුවන බව පෙන්වාදෙන එකී ආයතනය ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වාදෙයි.

මෙම සරණාගතයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කඩිනම් විසඳුමක් ක්‍රියාත්මක කරනු ඇතැයිද එම සරණාගතයින් නැවත පදිංචි කිරීමේදී තෙවැනි රටක සහය පැතීම දුෂ්කර බවත් ඊට හේතුව එවැනි රටවල් ලොව පුරා අඩුවශයෙන් තිබීමත් ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නත් යැයි ද එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය කියයි.