නීතියේ ආධිපත්‍ය සහතික කරන්න

නීතියේ ආධිපත්‍ය සහතික කරන්න

August 5, 2014   08:01 am

රැස්වීමකට කළ බාධා පිළිබඳව කණස්සල්ල පළ කරමින් නීතියේ ආධිපත්‍යය සහතික කරන ලෙස ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ(04)  දිනයේ කොළඹදී පවත්වමින් තිබු රැස්වීමකට බලහත්කාරයෙන් පැමිණි පිරිසක් කළහකාරී ලෙස හැසිරී ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් යුද්ධය නිසා අතුරුදන් වු පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සමඟ මෙම රැස්වීම පවත්වා තිබේ.

එම රැස්වීම පැවැත්වෙන අතර වාරයේ කළහකාරීන් පිරිසක් එයට බාධා කරමින් හැසිරුණු බවත්, එහිදි පොලිසියේ මුල් ප්‍රතික්‍රියාව කළහකාරීන්ට සහයෝගය දැක්වීමක් බවත් අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

උද්ඝෝෂකයින් විසින් සිදුකළ එම ක්‍රියාවෙන් තහවුරු වන්නේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් තැතිගන්වා ඔවුන් නිශ්ශබ්ද කරවීම බව අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

නීතියේ ආධිපත්‍යය බල ගන්වා ශ්‍රි ලංකාවේ සියලු වැසියන්ට භාෂණයේ හා රැස්වීමේ නිදහස ඇතුළුව මූලික මානව අයිතීන්ට ඉඩ සලසා දෙන ලෙස අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා රජය වෙත බල කර සිටියි.

එමෙන්ම අදාළ රැස්වීම සඳහා සහභාගී වීමට උතුරේ සිට පැමිණි පුද්ගලයින්ගේ ආරක්ෂව තහවුරු කරන ලෙස ද අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් ඉල්ලීමක් කර තිබේ.