දැව ජාවාරම්කරුවන් වන ජීවි නිලධාරීන්ට පහරදීලා - සිලාවතුර පොලීසිය පරීක්ෂණ අරඹයි

දැව ජාවාරම්කරුවන් වන ජීවි නිලධාරීන්ට පහරදීලා - සිලාවතුර පොලීසිය පරීක්ෂණ අරඹයි

August 1, 2014   06:34 am

විල්පත්තුව වනාන්තරයෙන් නීති විරෝධී ලෙස කපන ලද දැව තොගයක් අත්අඩංගුවට ගෙන සිටි වන ජීවී නිලධාරීන්ට පහර දුන් බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සිලාවතුරේ පොලීසිය කියයි.

ඊයේ (31) රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මොල්ලිකුලම ගම්මානයේ පිරිසක් විල්පත්තුව වනාන්තරයෙන් පළු දැව තොගයක් කපා රැගෙන ගොස් ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුවේ විල්පත්තුව හදිසි වැටලීම් ඒකකයට තොරතුරක් ලැබී ඇත.

මොල්ලිකුලම ගම්මානය පිහිටා ඇත්තේ විල්පත්තුව වනාන්තරයට ආසන්නයේය.

ඊයේ රාත්‍රී 7.00 ට පමණ වන ජීවී නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සදහා ගොස් ඇති අතර එහිදී කපා තිබූ පළු දැව කදන් 57 ක් තම බාරයට ගෙන ඇති වන ජීවී නිලධාරීන් දැව කැපීමට සම්බන්ධ බව කියන එක් සැකකරුවෙකුවද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අවස්ථාවේදී එම ස්ථානයට කඩා වැදී ඇති 15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් වන ජීවී නිලධාරීන්ට තර්ජනය කර ඔවුන් අත්අඩංගුවවේ සිටි සැකකරු මුදා ගෙන තිබේ.

මෙහිදී එක් වන ජීවී නිලධාරියෙකුට පැමිණි පිරිස විසින් පහර දී ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින්ව සිට ආරක්ෂක අංශ විසින් පුනරුත්ථාපනය කරන ලද පිරිසක් මොල්ලිකුලම ගම්මානයේ පදිංචිවී සිටින බවත් සඳහන්ය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති අතර සිලාවතුරේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.