සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බාරගත යුතුයි

සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බාරගත යුතුයි

July 31, 2014   10:09 pm

රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම හා නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැහැදිළිවම වගකීම බාරගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව එ.ජා.ප. පවසයි.

අද(31) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර සිටියේය.

එම නිවේදනය පහත පරිදි වෙයි.

අතීතයේ දී ශ්‍රී ලංකාව පිටස්තර ලෝකයා හැඳින්වූයේ ධර්මද්වීපය, ඉන්දියන් සාගරයේ මුතුඇටය යන වර්ණනා සහිතව ය. ඒ මෙරටේ තිබූ සාමකාමී සහජීවනය, සෞභාග්‍යය නිසාවෙනි. නමුත්, අවාසනාවකට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර, මේ වන විට  අප රට ලෝකයේ පහත්ම රාජ්‍ය කුලකය අතර ස්ථානගතව සිටී.

පුවත්පතක් අතට ගත් විට එය පිරි ඇත්තේ පුද්ගල පැහැර ගැනීම්,  මිනීමැරීම්,  කප්පම් ගැනීම්,  ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වැනි දුරාචාරවලිනි. කාලයක් තිස්සේ පිම්මේ වර්ධනය වෙමින් පවතින මෙම අවාසනාවන්ත ඛේදජනක තත්ත්වයේ නවතම ප්‍රකාශනය බවට පත්ව ඇත්තේ මීගලෑව,  හුණුපොලගම ප්‍රදේශයේ සිව් හැවිරිදි ළදරුවෙකු පැහැර ගැනීමට ලක් වීමය. සහතිකවම මෙම සිදුවීම රටක් ලෙස අප මේ මොහොතේ පසුවන ඛේදනීය තත්ත්වයේ මනා පිළිඹිබුවකි.

ත්‍රස්තවාදයෙන් මේ රට මුදා ගත් බවට පාලක පන්තිය හා ඔවුන්ගේ හෙන්චයියන් කෙතරම් උදාරම් කතා පැවැත්වුව ද, ආත්ම වර්ණනා සිදු කළ ද කුඩා දරුවෙකු සිය නිවසේ ආරක්ෂා කර ගත නොහැකි තරමට අද තත්ත්වය සංකීර්ණ වී ඇත. රටේ ආර්ථිකය දේශපාලන හර පද්ධතීන් හා අධිකරණය පමණක් නොව පුද්ගල ආරක්ෂාව ද බරපතළ තර්ජනයකට ලක්ව ඇති බවට මේ අවාසනාවන්ත සිදුවීම පැහැදිලි සාක්ෂියකි.

රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම හා නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැහැදිලිම වගකීම බාර ගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයයි.

නීතිය හා සාමය පවත්වා ගෙන යාමේ වගකීම බාරව ඇති පොලිසිය 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම තුල මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්ව ඇති අතර  අද එය තුළ  ස්වාධීන, අපක්ෂපාතී, දක්ෂ නිලධාරීන්ට තැනක් නොමැති තරම් ය. වසර 147 ක සාඩම්බර ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තම ඉතිහාසයේ මෙතරම් දුර්වල වූ කාල පරාසයක් වාර්තා වී නොමැති තරම් ය.

මැණිකක් අතින් ගත් කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනිව රාත්‍රියක වුව ද ගමන් කළ හැකි බවට අදහසක් එකල සමාජගතව තිබුණ ද අද කාන්තාවකට, කුඩා දරුවෙකුට තියා පිරිමියෙකුට හෝ තම නිවසේ ආරක්ෂිතව සිටිය නොහැකි තත්ත්වයක් ඇතිව ඇත. සාමාන්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ දිනකට ළමා අපචාර පහක් පමණ සිදු වන බවට මෑතක දී සිදු කළ සමීක්ෂණයක දී හෙළිව තිබුණි.

මිනීමැරුම්, පුද්ගල ඝාතන, පැහැර ගැනීම් හි තත්ත්වය ද ඊට දෙවැනි නොමැත. මේ බොහෝ අපචාර පිටුපස දේශපාලන සෙවණැලි තිබූ බව ප්‍රකට කරුණකි. නීතිය ක්‍රියාත්මක නොවීම හා තමන්ට නීතිය අදාළ නොවීම තුල ඕනෑම අපරාධයක් කර බේරි සිටිය හැකි බවට විශ්වාසයක් දේශපාලනය බලය සහිත වූවන් තුළ ඇති බව පෙනෙන්නට තිබේ. එබදු අවාසනාවන්ත සිදුවීම්වලින් පත්තර පිටු දිනපතා පිරී යන්නේ එබැවිනි.

අනිවාර්යයෙන්ම,  ශිෂ්ඨ රටක මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට නොලැබිය යුතුය. මෙවැනි දෑ පිටු දැකීමේ සැබෑ උවමනාවක් පාලකයන්ට ඇත්නම් මේවාට පහසුවෙන් තිත තබා වර්තමානයේ පවතින අපරාධ රැල්ල නතර කළ  හැකිය. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඒ සඳහා කිසිදු සාධාරණයක් ඔවුන් නොදැක්වීම ය.

අප මේ මොහොතේ දැඩි වගකීමෙන් යුතුව රජයෙන් හා පොලිසියෙන් ඉල්ලා සිටිනුයේ මේ සිදුවීම සැහැල්ලුවෙන් බාර නොගෙන වග කිව යුතු ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ප්‍රතිචාර දක්වන ලෙසය. විශේෂයෙන්ම අතුරුදහන්ව ඇති කවිදු සේනානායක දරුවාගේ මාපියන් ඇතුලු රටවැසි සියලු දෙනා තුල මේ අවාසනාවන්ත සිදුවීම පිලිබඳ ඇති දුක පශ්චත්තාපය සැහැල්ලුවෙන් බාර නොගන්නා ලෙස අප රජයට යලි දැඩිව අවධාරනය කරන්නෙමු.