ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රමාණවත් නෑ

ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රමාණවත් නෑ

July 26, 2014   11:00 am

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසඳීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රමාණවත් නොවන බව තමිල්නාඩු රජය පවසයි.

තමිල්නාඩු ප්‍රාන්ත ධීවර අමාත්‍ය කේ.ඒ.ජයපාල් ප්‍රකාශ කර ඇත්තේ ධීවර ගැටලුව විසඳීම සම්බන්ධයෙන් දෙවන වටයේ සාකච්ජා අසාර්ථකවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ කරුණු හේතුවෙන් සිදුවුවක් බවයි.

ඊයේ(25)  පැවති උත්සවයකට එක්වෙමින් කේ.ඒ ජයපාල් මෙම අදහස් පළකර තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ධීවර ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොඩි වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද ඔහු පවසා තිබේ.

ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසඳීමට නම් කච්චතිව් දුපත යළිත් ඉන්දියාවට පවරා ගත යුතු බවට කේ.ඒ ජයපාල් ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඉන්දු ශ්‍රී ලංකා ධීවර සාකච්ජා සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අද දෙරණ ධීවර අමාත්‍යංශයෙන් විමසීමක් කළේය.

එහිදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තමිල්නාඩුව සමඟ කිසිදු ආකාරයක සාකච්ජාවක් නොපවත්වන බවත්, මීළඟ වටයේ සාකච්ජා සඳහා ඉන්දීය මධ්‍යම රජයෙන් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්ය.

තමිල්නාඩු ධීවරයින් සිදුකරන යෝජනා වලින් ශ්‍රී ලංකා ධීවරයින්ට අසාධාරණයක් සිදුනොවන බව ද ඔහු පවසා තිබේ.