මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් පාරිභෝගික අධිකාරියට චෝදනාවක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් පාරිභෝගික අධිකාරියට චෝදනාවක්

July 26, 2014   08:57 am

කල් ඉකුත්වු ටින් මාලු තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට කළ උත්සාහයක් අනාවරණය කර ගත් බව පවසමින් පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අදාළ වැටලීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකළ බවයි.

කල් ඉකුත්වු ටින් මාලු තොගයේ පළමු කොටස පරිසරයට හානි නොවන අයුරින් වළදමා බැහැර කර දෙවන තොගය අදාළ ස්ථානයට ප්‍රවාහනය කරමින් තිබිය දී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම අසත්‍යය ප්‍රකාශය සිදුකර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරයි.

පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා කලාපය හේතුවෙන් රාජ්‍ය සේවයේ නිලධාරීන් දෙපිරිසක් අතර අනවශ්‍ය මත ගැටුමක් හටගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.