ආනයනික ධාන්‍ය මත පනවන ලද විශේෂ වෙළඳ බද්ද අඩුකරයි

ආනයනික ධාන්‍ය මත පනවන ලද විශේෂ වෙළඳ බද්ද අඩුකරයි

July 25, 2014   06:24 pm

රට තුළ පවතින නියඟය ‍හේතුවෙන් දේශීය ධාන්‍ය සැපයුම පහත වැටීමෙන් ඇති වන සැපයුම් ඌණතාව තුළ වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ආනයනය කරනු ලබන ධාන්‍ය මත අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකරන බව වෙළඳ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජූලි මස 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වෙළඳ බද්ද අඩු කරන බව අමාත්‍යංශය විසින් සඳහන් කරයි.

රට තුළ ප්‍රමාණවත් ආහාර තොග පවත්වා ගනිමින් ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමත්, දේශීය සැපයුමේ ඌණතාවන් හේතුවෙන් ධාන්‍ය මිල ඉහළ යාම පාලනය කිරීමත් සමඟ මෙම නිෂ්පාදනවල දේශීය සැපයුම අඩු කාලවල අදාළ බදු අඩු කිරීමත් සිදුකෙරෙන බව අමාත්‍යංශය පෙන්වාදෙයි.

එසේම දේශීය සැපයුම ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට ලැබෙන විට ‍‍නිෂ්පාදකයා ආරක්ෂා කරමින් කෘෂි භෝග සඳහා මෙම බදු ඉහළ මට්ටමක පවත්වා ගැනීම මගින් පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීම විශේෂ වෙළඳ භාණ්ඩ බදු ක්‍රමයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යංශය කියා සිටියි.

ඒ අනුව, ආනයනික පියලි නොකළ මයිසූර් පරිප්පු සඳහා කිලෝ ග්‍රෑමයට රු. 5/= ක්ව පැවති බද්ද රු. 2/= දක්වා ද, පියලි නොකළ හා පියලි කළ වටානා පරිප්පු සඳහා පිළිවෙලින් කිලෝ ග්‍රෑමයට රු. 22/= හා රු. 25/= ක්ව පැවති බද්ද රු. 15/= හා රු. 18/= දක්වා ද අඩු කර ඇති බව සඳහන්ය.

එසේම මුං ඇට සඳහා කිලෝ ග්‍රෑමයට රු. 102/= ක්ව පැවති බද්ද රු. 70/= දක්වා ද, කවුපි සඳහා කිලෝ ග්‍රෑමයට රු. 100/= ක්ව පැවති බද්ද රු. 70/= දක්වා ද, ‍පියලි නොකළ හා පියලි කළ කොණ්ඩ කඩල සඳහා පිළිවෙලින් කිලෝ ග්‍රෑමයට රු. 12/= හා රු. 15/= ක්ව පැවති බද්ද රු. 7/= හා රු. 10/= දක්වා ද, කුරක්කන් සඳහා කිලෝ ග්‍රෑමයට රු. 100/= ක්ව පැවති බද්ද රු. 70/= දක්වා ද අඩු කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.